Interstellar, Tesseract සහ දෛවය


Interstellar ෆිල්ම් එකේ තිය
න ටිකක් සංකීර්ණ වගේම ෆිල්ම් එකෙ කතාවට ඉතාම වැදගත් දෙයක් තමයි මේ tesseract එක. කූපර් කලු කුහරය හරහා ගිහින් එක පාරටම නවතින මර්ෆ්ගෙ කාමරයෙ සිද්ධි වලින් වටවුන cube එක වගෙ දෙය තමයි මේ  ටෙසරැක්ට් එක කියල හදුන්වන්නෙ. කතාවට අනුව මේක හදල තියෙන්නෙ පස්මාන ජීවීන් කට්ටියක් විසින්. මනුෂ්‍ය වර්ගයාව වදවීමෙන් බේරගන්න ජීවය පවත්වාගෙන යන්න පුලුවන් අලුත් ලෝකයක් හොයාගන්න උදව්වෙන විදියට  සෙනසුරු ග්‍රහලෝකෙට ආසන්නයෙ වෝම් හෝල් එකක් හදන්නෙත් මේ කට්ටියම තමා.
මනුෂ්‍ය වර්ගයා අලුත් ලෝකෙකට ගෙනියන  වැඩපිළිවෙළේ පලවෙනි පියවර තමා වෝම්හෝල් එක. වෝම්හෝල් එකෙන් විශ්වයෙ වෙනම තැනකට, අලුත් සෞරග්‍රහ මණ්ඩලයකට කූපර් ඇතුලු කට්ටියව අරන් යනවා. ඒ වැඩපිළිවෙළේම එක පියවරක් තමයි කූපර් සහ ටෙසරැක්ට් එක. කූපර්ව මේ ටෙසරැක්ට් එකට දාන එකෙ අරමුණ තමා කූපර්ට මේ ගමන එන්න මුල උන නාසා එකේ කෝඩිනේට්ස් ඔහුට ලැබෙන්න සලස්වන එක. 


මේ සිද්ධිය හරියට අර ග්‍රෑන්ඩ්ෆාද පැරඩොක්ස් එක වගේ. කූපර් මේ ටෙසරැක්ට් එක හරහා ගිහින් කෝඩිනේට්ස් යවන නිසා තමයි කොහොමෙන් කොහොම හරි කූපර් ඒ කෝඩිනේට්ස් යවන්න ටෙසරැක්‍ට් එකට එන්නෙත්. මේක හරියට රවුමක් වගේ/ලූප් එකක් වගේ. කූපර් ටෙසරැක්ට් එක ඇතුලෙදි කෝඩිනේට්ස් නොයැව්වොත් කූපර්ට මේ අභ්‍යාවකාශ ගමන යන්න වෙන්නෙ නැහැ ඒ කියන්නෙ එයා මේ දැන් ඉන්න ටෙසරැක්ට් එක ඇතුලට එන්න විදියකුත් නැහැ. ටිකක් ඔලුව විකාර වෙන දෙයක් මේක. ආයෙ මෙහෙම ගත්තොත්, කූපර්ට ඒ කෝඩිනේට්ස් ලැබිලත් එයා ගමන නොඑන්න තීරණය කරා කියමු එතකොට එයාට ටෙසරැක්ට් එකට යන්න වෙන්නෙත් නැහැ කෝඩිනේට්ස් එවන්න වෙන්නෙත් නැහැ. මේක පැරඩොක්ස් එකක්, ග්‍රෑන්ඩ්ෆාද පැරඩොක්ස් එක. ඒ නිසා වැඩිය හිතන්න ගිහින් ඔලුව විකාර කර ගන්න ඕන නෑ. 



මේ පැරඩොක්ස් එකට තියන විසදුම තමයි මේ හැම දෙයක්ම අනිවාර්යයෙන්ම වෙනව කියල ගන්නඑක. දෛවය වගේ එකක්. කූපර් මොනා කරත් අනිවාර්යයෙන් එයා මේ ගමන යනව, ටෙසරැක්ට් එකේදි කෝඩිනේට්ස් යවනව. 
ඒ දෛවය වගේ එකක් කියල ගත්තොත් හිතන්න පුලුවන් කූප්ගෙ free will එක නැති වෙනව කියල. සරලව, කූප්ට එයාට ඕන දෙයක් කරන්න තියන නිදහස නැති වෙනව නේද කියනෙක.කූප්ට ටෙසරැක්ට් එක ඇතුලෙදි කෝඩිනේට්ස් නොයව ඉන්න බැහැ මොකද එයාගෙ දෛවය/ඩෙස්ටිනි එක තමයි මේ ගමන එන එක, ගමන එන්න නම් එයා කෝඩිනේට්ස් යවන්න ඕන.ටාස් මේ ටෙසරැක්ට් එක ඇතුලෙ එක තැනකදි  කියනව "they didn't bring us here to change the past" කියල. මේක අර ඩෙස්ටිනි එක සම්පූර්ණ කරන කතාව වගෙ තමා.කූප්ව මේ ටෙසරැක්ට් එකට දාන්නෙ අතීතය වෙනස් කරන්න නෙවෙයි අතීතය සම්පූර්ණ කරන්න.

කූප්ට මේක තේරුම් යනවා, එයාට  තේරෙනව දුවගෙ කාමරෙ දුවට මෝස් කෝඩ් වලින් පණිවිඩ එවපු බූතයා තමන් කියල. ඉතින් එයා එයාගෙ දෛවය ඩෙස්ටිනි එක පිලි අරගෙන ඩෙස්ටිනි එක සම්පූර්ණ කරන්න කෝඩිනේට්ස් යවනවා. එහෙම ගත්තම free will එකක් කියල දෙයක් නැහැ තමයි. කූප් ගමන යනව කියනෙක කූප් ඒක ගැන දැනගන්නත් කලින් එයාගෙ දෛවයෙ ලියවිලා ඉවරයි. කූප් ඇත්තටම කරන්නෙ දෛවයෙ දැනටමත් ලියවිලා තියන දේ සම්පූර්ණ කිරීම විතරයි අලුත් දෙයක් කිරීමක් නෙවෙයි. ෆිල්ම් එකෙ මුල ඉදන්ම මර්ෆ්ගෙ කාමරෙ මේ "බූතයා" ඉන්නවා. පණිවිඩ එවන බූතයා වෙන කවුරුත් නෙවේ කූප්මයි.එහෙම මර්ෆ්ට පණිවිඩ එන්න නම් කූප් මේ ගමන ගිහින් ටෙසරැක්ට් එකට ගිහින් තියෙන්න ඕන. ඒ කියන්නෙ ෆිල්ම් එකෙ මුලදිම එහෙම ගමනක් ගැන කූප් දැනගන්නත් කලින්, කූප් ඒ ගමන යනව කියනෙක තීරණය වෙලා ඉවරයි/ගමන ගිහින් ඉවරයි. කූප් ෆිල්ම් එක පුරාවට කරන්නෙ දැනටම තීරණය වෙච්ච ලියවුන එයාගෙ දෛවය/කතාව සම්පූර්ණ කරනෙක විතරයි ඒක දැනටමත් ලියවුන දෙයක් කියල දැන හෝ නොදැන කූප් කරන්නෙ දෛවයෙ ඔහුගෙ කොටස රගපාන එක විතරයි.

ටෙසරැක්ට් එක අවසානයක් නැති මර්ෆ්ගෙ කාමරෙ සිද්ධි වලින් පිරුන කියුබ් එකක් වගෙ දෙයක්.

ආයෙ සාමාන්‍ය ලෝකෙට ආවොත්,

අපි දන්නව අපි ජීවත් වෙන්නෙ ත්‍රිමාන ලෝකෙක දිග පළල ගැඹුර කියන මාන තුන මත තමා අපි ඉන්නෙ. අපිට මේ විශ්වයෙ ඕනම තැනක් ඕනම පොයින්ට් එකක් මේ දිග පළල ගැඹුර කියන මාන පාවිච්චි කරල කියන්න පුලුවන්. ඒ වගෙම තමා මේ මාන තුනෙ ලෝකයෙ ඕනම මානෙක එහා මෙහා යන්න පුලුවන්. දිග කියන මානය ගත්තොත් ඒ මානය දිගෙ ඉස්සරහට පස්සට යන්න පුලුවන් ඒ වගෙම අනිත් මාන දෙකෙත් ඉස්සරහට පස්සට උඩට යටට ගමන් කරන්න පුලුවන්. මේ ත්‍රිමාන ලෝකයෙ ඒ ත්‍රිමානත්වය ඇතුලෙ ඕනම විදියකට සංචරණය/මූව් වෙන්න පුලුවන්. 


හැබැයි විශ්වය හැදිල තියෙන්නෙ මේ මාන තුනෙන් විතරක් නෙවෙයි. අපිට දැනෙන ඒත් අපිට භෞතිකව දකින්න බැරි කාලය කියන මානයත් මේ විශ්වයෙ තියනව. ඇත්තටම මේ විශ්වය සිවුමාන විශ්වයක් දිග පලල ගැඹුර කියන අපිට භෞතිකව සංවේදනය/සෙන්ස් වෙන මාන තුනට අමතරව අපිට නොපෙනෙන කාලය කියන මානයත් තියන සිවුමාන විශ්වයක්. කාලය අනිත් මාන තුනට වඩා වෙනස් වෙන තවත් විදියක් තමයි අර කලින් කිව්ව සංචරණය/මූව් වීම. අපිට අර මාන තුනේදි වගේ කාලය මානයෙ ඉස්සරහට පස්සට යන්න බැහැ. මෙහෙම කාලය මානයෙ ඉස්සරහට පස්සට යන එකට වෙනම නමකුත් තියනවා 'ටයිම් ට්‍රැවල්' ඒක වෙනම කතා කරන්න ඕන මාතෘකාවක්. කොහොම උනත් දැනට කාලය මානය හරහා මූව් වෙන්න විදියක් හොයාගෙන නැහැ. 
කාලය අපි ඉන්න ත්‍රිමාන විශ්වය හරහා රේඛීයව ගලා යනව නමුත් අපිට කාලය හරහා ඉස්සරහට පස්සට යන්න බැහැ.

ආයෙ ටෙසරැක්ට් එක පැත්තට එමු.

ටෙසරැක්ට් එක ඇතුලෙ තියන මේ මර්ෆ්ගෙ කාමරෙ සිද්ධි සාමාන්‍ය ලෝකෙදි අපි දන්න මාන තුනෙ සිද්ධ වෙලා ඉවර සිද්ධීන්. අපිට ඒ එක සිද්ධියක් එක මොහොතක දකින්න පුලුවන් සාමාන්‍ය ලෝකෙදි. නමුත් ටෙසරැක්ට් එකෙදි එක එක මොහොතවල්වල්දි/ එක එක වෙලාවට වුන සිද්ධි ඔක්කොම එකට බලාගන්න පුලුවන්. මර්ෆ්ගෙ කාමරෙ අතීතය වර්තමානය අනාගතය කියන ඔක්කොම කාලයන් එක පාර කූප්ට බලාගන්න පුලුවන් මේ ටෙසරැක්ට් එක ඇතුලෙදි. ටෙසරැක්ට් එකෙ ප්‍රධාන ටාස්ක් එක තමයි මේක. කාලය කූප්ට භෞතිකව පේන මානයක් බවට පත් කරන එක. සාමාන්‍ය ලෝකෙදි අපි, කූප්, මර්ෆ් කාමරෙ ඇතුලෙ එක මොහොතක/වර්තමානයේ හිර වෙලා ඉන්නෙ, අපිට ඒ වර්තමානයට ඉස්සරහින් පස්සෙන් තියන සිදුවීම් බලන්න බැහැ. ටෙසරැක්ට් එකෙදි මේ හිර වීම නැහැ. ටෙසරැක්ට් එකෙදි මර්ෆ්ගෙ කාමරෙ එක එක කාලවල සිද්ධ උන හැම  දෙයක්ම එක පාර බලන්න පුලුවන්. එකක් විදියට එක පෙලට භෞතිකව.


ටෙසරැක්ට් එක සහ ටෙසරැක්ට් එක ඇතුලෙ ඉන්න කූප්ගෙ ප්‍රධාන කාර්ය තමයි අතීතෙ කූප්ට නාසා එකෙ කෝඩිනේට්ස් යවන එක. ඒක කරන්න නම් ටෙසරැක්ට් එක හරහා පේන ඒ ඒ කාල රාමු වලට කිසියම් විදියකින් පණිවිඩයක් යවන්න පුලුවන් වෙන්න ඕන. මේකට මේ ටෙසරැක්ට් එකෙ තියන හැම කාල රාමුවක්ම 'ස්ට්‍රින්ග්ස්'/තන්තු හරහා සම්බන්ධ වෙලා තියෙන්නෙ. කූප්ට පුලුවන් මේ කාල තන්තු හසුරවන්න ඒ හරහා සාමාන්‍ය ලෝකයෙ මර්ෆ්ගෙ කාමරෙ ගුරුත්වය හසුරවන්න. මේ ගුරුත්වය හැසිරවීම හරහා මර්ෆ්ගෙ කාමරෙ පොත් රාක්කයෙ පොත් බිම දාලා ඒ හරහා මෝස් කෝඩ් විදියට කූප් පස්මාන ජීවියො හදපු ත්‍රිමාන ටෙසරැක්ට් එක ඇතුලෙ  ඉදන් ත්‍රිමාන ලෝකයට පණිවිඩ යවනවා. 

ෆිල්ම්  එකේ "Love is the one thing we're capable of perceiving... that transcends dimensions of time and space." කියල කිව්වට මෙතනදි මේ ඩිමෙන්ෂන්ස්/මාන හරහා සන්නිවේදනය කරන්න පාවිච්චි කරන්නෙ ගුරුත්වය. මේක ඇත්තටම, විද්‍යාඥයින් තවමත්  උත්තර හොයන, ගුරුත්වය දුර්වල බලයක් වෙන්නෙ ඇයි කියන ප්‍රශ්නයට සමහර විද්‍යාඥයො විසින් යෝජනා කරන, වෙනත් මානයක‌ට ගුරුත්වය කාන්දු වීම සම්බන්ධ තියරිය ඉතා විශිෂ්ඨ විදියට ෆිල්ම් එකට එකතු කර ගැනීමක්. කලිනුත් කිව්ව වගේ Interstellar ෆිල්ම් එකේ ‌භෞතික විද්‍යා මූලධර්ම පාවිච්චි කරල තියන විදියට කියල ඉවර කරන්න බැරි තරම් අනර්ගයි.

පස්මාන ජීවීන්ගෙ ටෙසරැක්ට් එකෙදි කූප්ට ඒ විදියට මර්ෆ් ඉන්න සාමාන්‍ය ත්‍රිමාන කාමරයට පණිවිඩ යවන්න ගුරුත්වය පාවිච්චි කරන්න පුලුවන් වෙන්නෙ මේ වෙනත් මානයකට ගුරුත්වය කාන්දු වීම නිසා. මේ විදියට ගුරුත්ව බලය කාන්දු වීම නිසා තමයි ගුරුත්වය අපේ විශ්වයෙ දුර්වලම බලවලින් එකක් වෙන්නෙ.

කූට ඊලඟට ඒ කාල තන්තු පාවිච්චි කරල, වැලි කුණාටුවක් නිසා මර්ෆ්ගෙ කාමරෙට වැටෙන වැලි ධාරාවෙ මෝස් රටාවකට ගුරුත්වය වෙනස් කරලා නාසා එකෙ කෝඩිනේට්ස් යවන්න පුලුවන් වෙනවා.මහාචාර්ය බ්‍රෑන්ඩ්ගෙ Plan A එකට අනුව දැනට පෘථිවියෙ ඉන්න මිනිස්සුන්වත් වෝම්හෝල් එක හරහා අලුත් ලෝකයට ගෙනියන්න අවශ්‍ය අභ්‍යාවකාශ යානය නිර්මාණයට අවශ්‍ය සමීකරණවලට ඕන ක්වොන්ටම් දත්තත් කූප් මර්ෆ්ට යවනවා. මේකට කූප් පාවිච්චි කරන්නෙ මර්ෆ්ගෙ පොත් රාක්කෙ තියන අත් ඔරලෝසුව. මේ අත් ඔරලෝසුවෙ තත්පර කටුවට සම්බන්ධ කාල තන්තුව මාර්ගයෙන් මේ දත්ත මෝස් කෝඩ් විදියට යවනවා. ඒ කාල තන්තුවෙ බලපෑම අවුරුදු ගානකට පස්සෙත් මර්ෆ් බලද්දි ඒ විදියටම ඔරලෝසුවෙ තියනව. ඒ තන්තුව මාර්ගයෙන් වෙනස් කිරීම කාලයෙ අවසානය දක්වාම පවතින නිසා.



ඒ ඔක්කොම දත්ත සන්නිවේදනය කරාට පස්සෙ කූප්ට තේරෙනවා මේ ඔවුන්ට උදව් කරපු පස්මාන ජීවීන් වෙන කවුරුවත් නෙවෙයි මනුෂ්‍යන්මයි කියල. ටෙසරැක්ට් එක හරහා එවන මේ පණිවිඩය ලබා ගන්න මර්ෆ්ව තෝරගෙන තියෙන්නෙත් මනුෂ්‍යන්ම තමයි. එහෙම මර්ෆ්ව තෝරගත්ත නිසා තමයි මර්ෆ් ක්වොන්ටම් දත්ත පාවිච්චි කරල අර අභ්‍යාවකාශ යානය නිර්මාණය සාර්ථක කර ගන්නෙත් ඒ නිසාම තමයි අපි ෆිල්ම් එකෙ අවසානෙ දකින විදියට ඒ අභ්‍යාවකාශ මධ්‍යස්ථානය මර්ෆ් කූපර්ගෙ නමින් නම් කරන්නෙත්.ඒ බව දන්න නිසාම තමයි ඒ පස්මාන ජීවීන් පණිවිඩ සන්නිවේදනය කරන්න මර්ෆ් කූපර් ව තෝර ගන්නෙත්. මේකත් ආයෙ අර කූප් ටෙසරැක්ට් එක ඇතුලෙන් අතීතෙ කූප්ව මේ ගමන එවනව වගේ ලූප් එකක්. 

මර්ෆ්ට පණිවිඩ ලැබුන නිසා තමයි අභ්‍යාවකාශ මධ්‍යස්ථානෙ මර්ෆ්ගෙ නමින් නම් වෙන්නෙ. අභ්‍යාවකාශ මධ්‍යස්ථානෙ මර්ෆ්ගෙ නමින් නම් වෙන්න හේතුව දන්න නිසාම තමයි පණිවිඩය ලබන්න මර්ෆ්ව තෝරගන්නෙත්.මර්ෆ් කරන්නෙත් ඇයගෙ දැනටමත් ලියවිලා තියන දෛවය සම්පූර්ණ කිරීමක්.මර්ෆ් කූප්ව ගමන යන්න නොදී නවත්ත ගත්තොත් ආයෙ අර පැරඩොක්ස් එක එනව කූප් ගමන් ගියෙ නැත්නම් කොහොමද මර්ෆ්ට බූතයා පණිවිඩ එවන්නෙ. කූප්ව නවත්තගන්න බැරි වෙන එකත් මර්ෆ්ගෙ දෛවයෙම/ඩෙස්ටිනි එකේම/කතාවෙම කොටසක් මර්ෆ් කරන්නෙ ඒක රගපාන/සම්පූර්ණ කරන එක විතරයි.

ෆිල්ම් එකේ අවසානෙන් අවුරුදු මිලියන ගානකට පස්සෙ පස්මාන ජීවීන් දක්වා දියුණු වෙන මනුෂ්‍යන්ම තමයි ෆිල්ම් එක මූලිකව ගලායන කාලෙ ෆිල්ම් එකෙ පෙන්වන විදියට පෘථිවිය ජීවත් වෙන්න බැරි තත්ත්වයට ඇවිත් මනුෂ්‍ය වර්ගයා වදවීයාමෙ තත්ත්වයකට ඇවිත් තියන බව දැනගෙන මනුෂ්‍ය වර්ගයා බේරගන්න මේ වෝම්හෝල් එක පිහිටුවන්නෙත්, කූප්ගෙ මාර්ගයෙන් ටෙසරැකට් එක හරහා පණිවිඩ යවන්නෙත්.  පස්මාන ජීවීන් මේ විදියට උදව් කරල බේරගන්නෙ ඔවුන්වමයි. අවුරුදු මිලියන ගානකට කලින් ඔවුන්ව.

ඇත්ත ලෝකෙත් මේ දෛවය/ඩෙස්ටිනි එක මේ විදියට තියනව වෙන්න පුලුවන්. අපි තනියම හිතල කරනව කියන හැම දෙයක්ම කලින් ලියවෙච්ච අපේ දෛවයෙ තියන දේවල් වෙන්න පුලුවන්. කූප්,මර්ෆ්,මනුෂ්‍ය වර්ගයා වගේ අපිත් කරන්නෙ අපෙ දෛවය සම්පූර්ණ කිරීමක් විතරක් වෙන්න පුලුවන්.මං පැය ගානක් දාගෙන මේක ටයිප් කරෙ මගෙ වුවමනාවට කියල හිතුවට මගෙ දෛවයෙ කලින් ඉදල ලියවිලා තියෙන්න පුලුවන් මේක ටයිප් කිරීමත්, මං මේ දැන් කරේ මගෙ ඒ දෛවයෙ ලියවිලා තියන දේ සම්පූර්ණ කිරීම වෙන්නත් පුලුවන් xD

-සංජුල-



Comments

Popular posts from this blog

The Lighthouse (2019)

Happy birthday අයින්ස්ටයින්!

Wouldn't want to live in a world without sports