ලප්ලාස්ගේ යක්ශයා


 Physicsවල ප්‍රධාන වශයෙන් framework දෙකක් තියනවා, Classical Mechanics  සහ Quantum Mechanics. ක්ලැසිකල් මෙකැනික්ස්වල මූලිකම පදනම විදියට නිව්ටෝනියන් මෙකැනික්ස් ගන්න පුලුවන්. එතනින් එහාට ලග්‍රාන්ජියන් මෙකැනික්ස්, හැමිල්ටෝනියන් මෙකැනික්ස් වලිනුත් ක්ලැසිකල් සිස්ටම්ස් ගැන කතා කරනවා. අධික වේගයන් වලට යද්දි විශේෂ සාපේක්ෂතාවදයත් අධික ස්කන්ධයන් වලට යද්දි සාමාන්‍ය සාපේක්ෂතාවදයත් පාවිච්චි කරනවා. මේ ඔක්කොම ක්ලැසිකල් මෙකැනික්ස් ෆ්‍රේම්වර්ක් එක ඇතුලෙ තමයි පැහැදිලි කරන්නෙ. 

ක්ලැසිකල් මෙකැනික්ස්වල ප්‍රධානම අදහස තමයි ඕනම පද්ධතියක යම් මොහොතක පිහිටීම, ප්‍රවේගය, ගම්‍යතාව වගේ රාශීන් සහ ඒ පද්ධතිය මත ක්‍රියාකරන බලයන් දන්නව නම් අපිට පුලුවන් ඊලග මොහොතෙ ඒ පද්ධතියෙ පිහිටීම, ප්‍රවේගය වගේ රාශීන් ගණනය කරන්න. එහෙම ගණනය කරන්න අවශ්‍ය වෙන සිද්ධාන්ත, නීති මේ එක එක වාදවලින් දීලා තියනවා. 

යම්කිසි අංශුවක මේ මොහොතේ ප්‍රවේගය, පිහිටීම එක්ක ඒ මත ක්‍රියාකරන බලයන් දීලා තියනව නම් අපිට පුලුවන් ඊලග මොහොතේ නැත්නම් තව තප්පර 5කින් ඒ අංශුවෙ පිහිටීම හරියටම ගණනය කරලා කියන්න. ඒ එක අංශුවක. දැන් මුලු විශ්වයම ගැන හිතුවොත් විශ්වයම හැදිලා තියෙන්නෙ ඔය වගේ අංශු බිලියන, ට්‍රිලියන ගාණකින්. 

කෙනෙක්ට පුලුවන් නම් මේ මොහොතේ මුලු විශ්වයේම තියන ඔක්කොම අංශුවල පිහිටීම, ප්‍රවේගය වගේ ඔක්කොම රාශීන් සහ ඒවා මත වැඩ කරන ඔක්කොම බලයන් මැන ගන්න, ඒවා අනුගමනය කරන ඔක්කොම නීතීන් දන්නව නම්, සහ අතිශය විශාල ගණනය කිරීමේ හැකියාවක් තියනව නම් ඒ කෙනාට පුලුවන් ඊලග මොහොතේ මුලු විශ්වයේම හැසිරීම ගැන හරියටම කියන්න. අනාගතය කියන්න. 

මේ කතාව කියන්නෙ ලප්ලාස්. පස්සෙ කාලෙක මේකට ලප්ලාස්ගේ යක්ශයා කියල කියනවා. ලප්ලාස්ගේ යක්ශයට මේ හැකියාව තියනවා, ඌට පුලුවන් අනාගතය ගැන හරියටම කියන්න. මේ අදහස නියතිවාදීයි. ඒ කියන්නෙ මේ මොහොතේදි තීරණය වෙලා ඉවරයි ඊලග මොහොතෙ වෙන්නෙ මොකක්ද කියන දේ. අපි හිටියත් නැතත්, ගණනය කරත් නැතත් ඒක වෙනවා මේ මොහොතේ තීරණය වෙලා ඉවරයි වෙන්නෙ මොකක්ද කියන එක. ඔහොම ඔහොම පස්සට හිත හිත බැලුවොත් විශ්වය ආරම්භ වෙන මොහොතේදිම (එහෙම මොහොතක් තියෙයි නම්) විශ්වය අවසාන වෙන මොහොත දක්වා හැම දෙයක් තීරණය වෙලා ඉවරයි. ෆ්‍රී විල් එක කුඩුපට්ටම් වෙලා යනවා.

ලප්ලාස්ගේ යක්ශයා ගැන ක්වොන්ටම් මෙකැනික්ස්වලින් හිතල බැලුවොත්. ලප්ලාස් මැරෙන්නෙ 1827දි ක්වොන්ටම් මෙකැනික්ස් බිහි වෙන්නෙ 1900දි ලප්ලාස් මේ කතාව කියන්න ඇත්තෙ සම්පූර්ණයෙන් ක්ලැසිකල් මෙකැනික්ස් අදහසක ඉදලා. 

ක්වොන්ටම් මෙකැනික්ස්වල පදනම ප්‍රධාන වශයෙන් අදහස් තුනක්. පලවෙනිම දේ තමයි ක්වොන්ටයිසේශන් නැත්නම් ක්වොන්ටීකරණය කියන එක ඒ කියන්නෙ ශක්තිය ගත්තොත්,  ක්ලැසිකල්වලදි ශක්තියට ඕනම අගයක් තියෙන්න පුලුවන් ප්‍රශ්නයක් නෑ. හැබැයි ක්වොන්ටම් පද්ධතියක එහෙම බෑ. ශක්තියට තියෙන්න පුලුවන් අගයන් සෙට් එකක් තියනවා ඒ අගයන් වලින් එකක් විතරමයි ශක්තියට තියෙන්න පුලුවන්. මේකට කියනවා ශක්තිය ක්වොන්ටයිස්ඩ් වෙලා කියලා. මැක්ස් ප්ලාන්ක් 1900දි ශක්තියේ ක්වොන්ටීකරණය හොයා ගැනීමත් එක්ක තමා ක්වොන්ටම් මෙකැනික්ස් පටන් ගන්නෙ.

දෙවෙනි එක තමයි වේව්-පාටිකල් ඩුඇලිටි එක අංශු-තරංග ද්වයිකය. ක්ලැසිකල් වලදි වගේ අංශු හැමවෙලේම අංශු විදියට තියෙන්නෙ නෑ. ක්වොන්ටම් අංශුවට, අංශුවක් විදියටත් ඉන්න  පුලුවන් තරංගයක් විදියටත් ඉන්න පුලුවන්. හැම අංශුවකටම අදාල තරංගයක් තියනවා මේ තරංගයේ  හැසිරීම විස්තර කරන තරංග ශ්‍රිතයක් තියනවා මේ තරංග ශ්‍රිතය, ශෝඩිංගගෙ සමීකරණයට යටත්. පස්සෙ කාලෙක මැක්ස් බෝන් පැහැදිලි කරනවා මේ තරංග ශ්‍රිතය පාවිච්චි කරලා අංශුවක යම් මොහොතක යම් තැනක පිහිටීමේ සම්භාවිතවය ගණනය කරන්න පුලුවන් කියලා. මේකෙන් අංශු-තරංග ද්වයිකය ගැන අදහස සම්පූර්ණයෙන්ම වෙනස් අතකට හැරෙනවා. අංශුවකට තියෙන්නෙ එක එක තැන්වල පිහිටීම්වලට අදාල සම්භාවිතාවලින් පිරුණ සම්භාවිතා තරංගයක්. නිරීක්ශකයෙක් අංශුවේ පිහිටීම මනිද්දි,නිරීක්ෂණය කරද්දි මේ තරංග ශ්‍රිතය  අර තිබ්බ එක එක පිහිටීම්වලින් එකකට බිදවැටෙනවා. නිරීක්ෂණය කරන්න කලින් අංශුව ඒ නිරීක්ෂණය කරපු තැන පවතින්නෙ නෑ පවතින්නෙ එතන තියෙන්න පුලුවන් කියල කියන යම්කිසි සම්භාවිතාවක් විතරයි.

තුන්වෙනි දේ තමයි හයිසන්බර්ගේ අවිනිශ්චිතා මූලධර්මය. මේකෙන් කියන්නෙ අපිට අංශුවක පිහිටීම සහ ගම්‍යතාව එකවර නිවැරදිව මනින්න බෑ කියනෙක. පිහිටීමේ මිනුමේ නිවැරැදිතාව වැඩි වෙන්න වෙන්න ගම්‍යතාවේ මිනුමේ නිවැරදිතාව අඩු වෙනවා.

දැන් ලප්ලාස්ගේ යක්ශයාට ප්‍රශ්න කීපයකට මූණදෙන්න වෙනවා. එකක් අංශුවල මේ මොහොතේ පිහිටීම, ගම්‍යතාව වගේ රාශීන් මනිද්දි ලැබෙන අගයන් හරියටම හරි නෑ අංශු හයිසන්බර්ගේ අවිනිශ්චිතා මූලධර්මය පිලිපදින නිසා. අනිත් දේ අංශුවක පිහිටීම, ගම්‍යතාව වගේ දේවල් පවතින්නෙ නිරීක්ශකයෙක් මැන්නොත්, නිරීක්ෂණය කරොත් විතරයි. ඉතින් මේ මොහොතේ පිහීටීම නිරීක්ෂණය කරද්දි පිහීටීමක් තිබුණට ඊලග මොහොතෙ නිරීක්ෂණය කරනකන් පිහිටීමක් පවතින්නෙ නෑ. ඉතින් නිරීක්ෂණය කරනකන් ඊලඟ මොහොතේ අංශුවක පිහිටීම, ප්‍රවේගය, ගම්‍යතාව වගේ රාශීන් ගැන    කොහොත්ම කියන්න බෑ. මේ මොහොත ගැන උනත් නිරීක්ෂණය කරන තුරු කියන්න පුලුවන් සම්භාවිතාවක් විතරයි.  

නිරීක්ශකයෙක් අංශුවක පිහිටීම මනිද්දි නැත්නම් නිරික්ෂණය කරද්දි අදාල අංශුවේ තරංග ශ්‍රිතය බිදවැටිලා පිහිටීම එක අගයකට එනව කියනව. එතකොට ඔය නිරීක්ෂකයා සහ නිරීක්ෂණය කරන උපකරණ වගේ දේවල් ගත්තොත් ඒ හැමදෙයක්ම හැදිලා තියෙන්නෙ ඔය වගේම අංශුවලින්නෙ එතකොට ඒවයෙ තරං ශ්‍රිතවලට මොකද වෙන්නෙ ඒවා ක්වොන්ටම් නෙවෙයිද? ඕක තමයි දැනට තියන ලොකුම ප්‍රශ්නය.

Comments

Popular posts from this blog

The Lighthouse (2019)

Interstellar, Tesseract සහ දෛවය

Happy birthday අයින්ස්ටයින්!